Headlines News :
Home » » කෝට්‌ටේ හිමිවරුන් දෙනම ඝාතනයට ගල්ගමුවේ බස්‌නායක නිලමේ දැලේ

කෝට්‌ටේ හිමිවරුන් දෙනම ඝාතනයට ගල්ගමුවේ බස්‌නායක නිලමේ දැලේ



කෝට්‌ටේ රජමහා විහාරයට කඩාවැදී එහි වැඩ සිටි භික්‍ෂූන් දෙනමක පෙරේදා (20) රාත්‍රී  ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවකු බව කියන ගල්ගමුව ප්‍රදේශයේ විහාරයක බස්‌නායක නිලමේවරයකු මහරගම පොලිසිය මගින් ඊයේ (21) අලුයම අත්අඩංගුවට ගෙන ඇත.
භික්‍ෂූන් වහන්සේලා දෙනම ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ අනෙක්‌ සැකකරු පලාගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ඇඹිලිපිටිය ප්‍රදේශයට පිටත් කර යවා ඇත.
මෙම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු කියා ඇත්තේ කෝට්‌ටේ රජමහා විහාරයේ ඇතිබව කියන මැණික්‌ එබ්බවූ රන් අසිපතක්‌ සොරා ගැනීමට පැමිණි අවස්‌ථාවේ භික්‍ෂූන් වහන්සේලා තමන් හඳුනා ගැනීම නිසා මෙම ද්විත්ව ඝාතනය කිරීමට සිදුවූ බවයි.
ඊයේ (21) අලුයම මහරගමදී අත්අඩංගුවට ගත් සැකකරු ගල්ගමුව පලුගොල්ල ප්‍රදේශයේ විහාරයක බස්‌නායක නිලමේවරයකු ලෙස කටයුතු කරන අයෙකි. මොහු රැකියාව ලෙස රක්‍ෂණ ආයතනයක සේවය කරන 26 හැවිරිදි තරුණයෙකි.
මෙම සැකකරු කෝට්‌ටේ රජමහා විහාරයට නිතර ආගිය පුද්ගලයකු වන අතර එහි භික්‍ෂූන් වහන්සේලා සමගද සමීප මිත්‍රත්වයක්‌ පවත්වාගෙන ගිය අයෙකි.මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින අනෙක්‌ සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මොහු කලක්‌ චීවරධාරියකු ලෙස සිට පසුව සිවුරු හැර දමා සුළු රැකියාවක්‌ කරගෙන යන බව පොලිසිය පවසයි.
මෙම ද්විත්ව ඝාතනය කිරීමට පෙරදින මොහු බොරලැස්‌ගමුව ප්‍රදේශයේ සිමෙන්ති වැඩ පළක සුළු රැකියාවක්‌ සඳහා පැමිණ ඇති අතර එසේ පැමිණ ඇත්තෙ කෝට්‌ටේ රජමහා විහාරයට රාත්‍රි කාලයේ ඇතුළු වීමේ අරමුණ ඇතිව බවද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.
භික්‍ෂූන් වහන්සේලා දෙනම ඝාතනය කළ පසු මොවුන් විහාර භූමියේ ස්‌ථාන දෙකකින් පිටවූ බව ඒ වන විට විහාරස්‌ථානය අසල සිටි කීප දෙනකු දැක ඇත. එක්‌ සැකකරුවකු විහාරස්‌ථානය අසල නවතා තිබූ මෝටර් රථයක නැඟී පලා ගිය අතර ඒ අසල සිටි ප්‍රදේශවාසියෙක්‌ එම මෝටර් රථයේ අංකය සටහන් කර ගත්තේය. ඝාතනය සම්බන්ධයෙන් පොලිස්‌ පරීක්‍ෂණ ආරම්භ වූයේ ඉන් පසුවය. සිද්ධිය සැලවූ වහාම බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක, නියෝජ්‍ය පොලිස්‌පති අයි. එම්. කරුණාරත්න, පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි නිශාන්ත සොයිසා ඇතුළු නිලධාරීහු කෝට්‌ටේ රජමහා විහාරය වෙත පැමිණියහ.
පොලිස් සුනඛයන් යොදා සෝදිසි කරන අතරතුර ඝාතකයාගේ ඉවපාරේ ගිය පොලිස්‌ නිල සුනඛයන් විහාරය අසල නිවසකට යද්දී එහි මත්පැන් පානය කරමින් සිටි සිව් දෙනෙකු පැන දිව ගොස්‌ ඇත. ඒ අවස්‌ථාවේ වහාම ක්‍රියාත්මක වූ පොලිස්‌ නිලධාරීන් එම පුද්ගලයන් සිව් දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මේ අතර සැකකරුවන් පලා ගිය මෝටර් රථයේ අංකය ඔස්‌සේ පරීක්‍ෂණ පැවැත්වූ මහරගම පොලිසියේ ස්‌ථානාධිපති අනුරාධ මහින්දසිරි, පොලිස්‌ පරීක්‍ෂක රණබාහු ඇතුළු නිලධාරීහු මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව එම මෝටර් රථයේ හිමිකරු පිළිබඳව තොරතුරු සොයා ගත්හ.අදාළ මෝටර් රථයේ අංකය හිමි පුද්ගලයා මහරගම පිළියන්දල පාරේ ෂිරෝමනී මාවතේ පදිංචිකරුවකු බව හෙළි කරගත් පොලිසිය ඊයේ අලුයම එම නිවස වැටලූහ.නිවසේ දොරගුලු විවෘත කරගත් පොලිස්‌ නිලධාරීන් නිවස පරීක්‍ෂා කරද්දී එහි නිදා සිටි බස්‌නායක නිලමේවරයා සොයා ගැනීමට හැකි විය.තමන් මෙම ද්විත්ව ඝාතනය පිළිබඳව කිසිවක්‌ නොදන්නා බව සැකකරු අත්අඩංගුවට ගත් අවස්‌ථාවේ පොලිසියට ප්‍රකාශ කළේය.
නිවසේ පිටුපස ගරාජය පරීක්‍ෂා කරද්දී අදාළ අංකය සහිත මෝටර් රථය එහි තිබී සොයා ගැනීමට පොලිසියට හැකිවිය.පසුව පොලිසිය සැකකරුගෙන් දැඩි ලෙස ප්‍රශ්න කරද්දී ඔහු පවසා ඇත්තේ තමා තවත් පුද්ගලයකු සමග ගොස්‌ මෙම ද්විත්ව ඝාතනය සිදුකළ බවයි.
බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති අනුර සේනානායක මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ පත්කළ විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
Share this article :
 
Support : Google
Copyright © 2011. Mal Mama - All Rights Reserved